English Sinhala Tamil

Latest News

  • sltb Planning Report (03/10/2018)
      P & L Report August 2018  
  • galary (03/10/2018)
  • tender2 (02/10/2018)
    New Invitation for Bids Procurement of supply installation, testing, commissioning and maintenance of 200 nos. of Bell & Light level crossing protection systems to Sri Lanka Railways   Procurement Notice Procurement of design, manufacturing, supply and commissioning of re-railing equipments and accessories to motive power sub department  
  • sltb Planning Report (03/10/2018)
      P & L Report August 2018  
  • galary (03/10/2018)
  • tender2 (02/10/2018)
    New Invitation for Bids Procurement of supply installation, testing, commissioning and maintenance of 200 nos. of Bell & Light level crossing protection systems to Sri Lanka Railways   Procurement Notice Procurement of design, manufacturing, supply and commissioning of re-railing equipments and accessories to motive power sub department  

සුනාමි බස් ගැන

සුනාමි බස් ගැන නොදන්නා ඔබට

 
Mitsubishi Aero Star City Bus
Click on the image for more posts
ISUZU U-LV324K City Bus
Click on the image for more posts
Hino HT City Bus
Click on the image for more posts
ISUZU Cubic City Bus
Click on the image for more posts
Nissan Diesel City bus
Click on the image for more posts

2004 වසරේ සුනාමි ආධාර වශයෙන් ශ්‍රී ලංකාවට ජපානයෙන් ලැබුණු  සුනාමි බස් රථ පිළිබඳව නිසි අවබෝධයක් නොමැති ඇතැම් මාධ්‍ය සහ පුද්ගලයන් විවිධාකාරයෙන් ශ්‍රී ලංගම ට චෝදනා එල්ල කරමින් සිටී. එම අනවබෝධය නැති කිරීම පිණිස මෙම පසු සටහන තැබීමට තීරණය කළෙමු. සුනාමි බස් රථ වර්ග කීපයක් ශ්‍රී ලංකාවට ලැබී ඇත. Hino, ISUZU, MITSUBISHI, NISSAN එම වර්ගයන් වේ. එම වර්ගයන් වලද උප මාදිලි දැකිය හැක.
2004 වසරේ ඇතිවූ සුනාමි ව්‍යසනයෙන් අපේ රටේ පොදු ප්‍රවාහන පද්ධතියට ද දැඩි අලාභ හානි සිදු විනි. එය සැලකිල්ලට ගත් ජපන් රජය, ජපානයේ භාවිතා කර ඉවත් කිරීමට තිබුණු මෙම සුනාමි බස් රථ ශ්‍රී ලංකාවට ලබා දෙන්නේ පොදු ප්‍රවාහන පද්ධතිය යතා තත්වයට පත් වන තෙක් තාවකාලික විසඳුමක් වශයෙනි. ශ්‍රී ලංකාවට ලබාදෙන විටත් බොහොමයක් බස් රථ ජපානයේ වසර 10ක සේවා කාලයක් සම්පූර්ණ කර තිබුණි. එනම් මෙම බස් රථ 1993 හා 1994 කාලසීමාවේ නිෂ්පාදිතය. බොහොමයක් බස් රථ කි. මි. 500000 කට වඩා ධාවනය කරවා ඇත.

ටෝකියෝ නාගරික ප්‍රවාහන කාර්යංශය (TOEI -Transportation Bureau of the Tokyo Metropolitan Government) යටතේ ධාවනය වූ මිට්සුබිෂි එයිරෝස්ටාර් (Mitsubishi Fuso Aero Star) වර්ගයේ බස් රථයක් 2001 වසරේ ආර්. ජේ. ෂින්ජුකු බස් නැවතුමේ දී.
Mitsubishi Fuso Aero Star Bus at JR Shinjuku station, Tokyo, Japan in 2001
click on the image for full size
මෙම සුනාමි බස් රථ ලංගමට ලබා දෙන විට ඒවායේ වායු සමන පද්ධති බොහොමයක් අක්‍රීයය. වායු සමන අක්‍රිය වුවද මෙම රථයක සාමාන්‍ය ඩීසල් පරිභෝජනය ලීටරයට කි. මි. 1.5 ක තරම් අගයක් විය (සාමාන්‍ය අශෝක් ලේලන්ඩ් වයිකින්ග් බස් රථයක එය ලීටරයට කි. මි. 4.7 තරම් වේ). එහෙයින් මේවා සාමන්‍ය ගාස්තු යටතේ ධාවනය කරවීම අතිශය ගැටළුකාරී විය. අමතර කොටස් ද මිලෙන් ඉතා අධික වන අතර මාදිලි පැරණි වීම නිසා ඇතැම් අමතර කොටස් හිඟය. මෙම ගැටළු නිසා මේවා ඉතා ඉක්මනින්ම ධාවනයෙන් ඉවත් කිරීමට ලංගමට සිදුවිය.
විවිධ විශේෂ ව්‍යාපෘති මගින් හැකි උපරිමයෙන් සුනාමි බස් රථ ධාවනයට ලබා දීමට ශ්‍රී ලංගම ඩිපෝවන් උත්සහ කරන්නේ මෙම බස් රථ වල ඇති ගුණාංගයන් නිසාමය. වායු අවලම්බන පද්ධතියකින් (Air suspension), අර්ධ සවය්න්ක්‍රීය ගියර් පද්ධතියකින් හා පසුපස එන්ජිමකින් යුක්ත වන තට්ටුව පහලින් පිහිටි (Low-floor bus) මෙම බස් රථ අදටත් මගීන්ට මෙන්ම රියදුරන්ටද ඉතා පහසුය. මෙම විශේෂතා නිසාම විවිධ විශේෂ සේවාවන්ට සුනාමි බස් රථ වල දායකත්වය ලබාගෙන ඇත. ඇතැම් බස් වල වායු සමන පද්ධතිද පසුකාලීනව අලුත්වැඩියා කර සුඛෝපබෝගී සේවා සඳහා යොදාගත් අවස්ථා ඇත. ඇතැම් බස් තවමත් සුඛෝපබෝගී සේවා යටතේ ධාවනය වේ.

හම්බන්තොට හා මත්තල ගුවන්තොටුපල අතර ධාවනය වූ සුඛෝපබෝගී බස් රථ
Tsunami buses of Mattala Hambanthota Special service
Click on the image for the full post
 
කටුනායක ඇවරිවත්ත බස් නැවතුමේ සිට ගුවන් තොටුපොළ පරිශ්‍රය දක්වා විශේෂ සේවාව සඳහා යොදාගත් Hino HT වර්ගයේ බස් රථ. මෙම සේවාව ශ්‍රී ලංගම ගම්පහ ප්‍රාදේශීය කාර්යාලය (GRMU) මගින් පාළනය සිදු කෙරිණි.
A Hino HT City bus with Airport & Aviation Services
click on the image for full size
A Hino HT City bus with Airport & Aviation Services
click on the image for full size

සුනාමි බස් රථ අලුත් වැඩියා කර ධාවනයට එක් කිරීමේදී කුරුණෑගල දකුණ ඩිපෝව විශේෂයෙන් කැපී පෙනේ. වෙනත් ඩිපෝ මහින් ධාවනයෙන් ඉවත් කර තිබුණු බස් රථ රැසකට කුරුණෑගල දකුණ ඉංජිනේරු අංශය විසින් යලි පණ ලබා දී තිබේ. වායුසමනය කල සුඛෝපබෝගී බස් රථ මෙන්ම වෙනත් එන්ජින් පද්ධති බද්ධ කොට යලි ජවය ලබා දුන් බස් රථ ද ඒ අතර වේ.

කුරුණෑගල දකුණ ඩිපෝව මගින් ජනපති පදවිප්‍රාප්තිය නිමිතිකොට ගෙන අලුත්වැඩියා කල Hino HT බස් රථයක්. මෙම රථය වර්තමානයේ අධිවේගී මාර්ගයන් හි සුඛෝපබෝගී සේවා සඳහා යොදා ගැනේ.
Hino HT2MMAA (Akashi) Luxury Bus form SLTB Kurunegala South Depot
Click on the image for the full post
 
කුරුණෑගල දකුණ ඩිපෝව යටත් ධාවනය වන Hino HT බස් රථයක්.
Hino KC-HU2MLCA (Akashi) Bus form SLTB Kurunegala South Depot
Click on the image for the full post
 
කුරුණෑගල දකුණ ඩිපෝව මගින්, අශෝක් ලේලන්ඩ් එන්ජිමක් බද්ධ කොට යලි ජවය සැපයූ Hino HT වරගයේ බස් රථයක්.
Hino KC-HU2MLCA Bus repowered with an Ashok Leyland Engine
Click on the image for the full post
 
කුරුණෑගල දකුණ ඩිපෝව මගින් ISUZU MT111 එන්ජිමක් බද්ධ කොට යලි ජවය සැපයූ ISUZU U-LV324K වර්ගයේ බස් රථයක්.
ISUZU U-LV324K city bus repowered with ISUZU MT111 Engine
Click on the image for the full post

Ketawatta Panadura

Ketawatta Panadura Bus service from SLTB Panadura depot -- පානදුර කැටවත්ත බස් සේවය

 
This photo was taken on July 23, 2013 in Beragala, Badulla, Uva, LK
Click on the image for full size picture.
Sri Lanka Transport Board (SLTB) Panadura Depot Ashok Leyland Viking Brij body bus (PN 83 / NA-1124). The Bus running under route 64 Panadura- Ketawatta via Badulla. (Pic by: Naveen Darshana) -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලංගම) පානදුර ඩිපෝවට අයත් අශෝක් ලේලන්ඩ් වයිකින්ග් වර්ගයේ බස් රථයකි. මෙම බස්රථය මාර්ග අංක 64 ඔස්සේ පානදුර හා කැටවත්ත අතර ධාවනය බදුල්ල හරහාය. වසර 49 ක් පුරා අකණ්ඩව ධාවනය වන මෙම අපූරු බස් සේවය පිලිබඳ රසවත් කතා පුවතක් ඇත. එම කතා පුවත දිවයින පුවත්පතේ තිලක් පුෂ්පකුමාර සටහන් කර තිබුනේ මෙසේය.
 


ලංකාව හරහා යන අපූරු ගමන
වසර හතලිස්‌ නමයක් පුරා දිනපතාම ලංගම බස්‌ රථයක්‌ ගමන් කරන මාර්ගයක්‌ මේ සිරි ලංකාව තුළ ඇතැයි යන්න එක්‌තරා ආකාරයක පුදුමයක්‌ වනු ඇති.

එහෙත් මෙය සත්‍යයකි. ඇස්‌ පනා පිට අද ද සිදුවන්නකි. අපේ රටේ එක්‌ කෙළවරක ඈත මූදුකරේ සිට අනෙක්‌ කෙළවරේ ඈත බදුල්ල දිස්‌ත්‍රික්‌කයේ හද්දා පිටිසර ගම්මානයක්‌ කරා දිවෙන ලංගම පානදුර ඩිපෝවට අයත් මේ රථය නම් පානදුරයේ සිට බදුල්ල හරහා කැටවත්තට යන බස්‌ රථයයි.

බැලූ බැල්මට මෙය සාමාන්‍ය දුර ගමන් සේවාවක්‌ ලෙස පෙනුනත් මෙම බස්‌ රථයත් එම ගමන් වාරයත් තුළ එය සැඟව ඇති අපූරු කථාන්තරයක සුලමුල සොයාගැනීමට හැකිවූයෙමි.

සුන්දර බදුල්ල නගරයෙන් ආරම්භ වී කථා නායකයෙකු සේ දඟර ගැසෙමින් දිවෙන දුන්හිඳ හරහා මහියංගන මාර්ගයේ සැතපුම් 20 ක්‌ ගෙවූ පසු "මීගහකිවුල" නගරය හමුවේ. මීගහකිවුල හන්දියෙන් හැරී යන කුඩා පටු තාර දැමූ මාර්ගයේ තවත් සැතැපුම් නවයක්‌ දුර ගිය තැන කැටවත්ත නම් වූ පුංචි ගම්මානය මුණගැසේ.

අප්පුහාමි ගම්පති තැන කැටවත්ත ගමේම ඉපදී හැදී වැඩුණු අයෙකි. ගමේ වැදගත් පරම්පරාවකින් පැවත ආ ඔහු එකල කැටවත්ත ගමට තිබූ එකම සිල්ලර කඩයේ හිමිකරු ද විය. වසර ගණනාවක්‌ තිස්‌සේම ගම්මුන්ට නායකත්වය දෙමින් කටයුතු කළ අප්පුහාමි මූලාදෑනි තැන හිත හොඳ එඩිතර ජවසම්පන්න නායකයකු විය. ගමනා ගමන පහසුකම් අල්ප වූ එකල මගී ප්‍රවාහන කටයුතු සිදුකෙරුණේ ප්‍රධාන මාර්ගවල පමණකි. මීගහකිවුල සිට කැටවත්ත දක්‌වා දිවෙන මාර්ගය ගුරු පාරක්‌ වූ ඒ අවධියේ එයද සෝදාපාළුවට ලක්‌වී දැඩි ලෙස අබලන්ව පවතින විට පිළිසකර කිරීමට පෙරමුණ ගත්තේද අප්පුහාමි මුලාදෑනි තැනය.

ඒ 1963 වසරයි. ගමට මගී ප්‍රවාහන සේවයක්‌ ලබා ගැනීමට මූලාදෑනි තැනට මෙන්ම ගම්මුන්ටද දැඩිව අවශ්‍ය වී තිබිණ. කැටවත්තට ආසන්නම ලංගම ඩිපෝ වූයේ මහියංගනය හා බදුල්ලයි. මහියංගන ඩිපෝව උප එකක්‌ වූ අතර එය සතුව තිබුණේ සීමිත බස්‌ රථ ප්‍රමාණයකි. ගමට බස්‌ රථයක්‌ ලබා ගැනීමට ගම් ප්‍රදේශයෙන් පාර්ලිමේන්තුවට තෝරා යෑවූ දේශපාලන නියෝජිතයන් හමුවේ කන්නලව් කොට ප්‍රථමයෙන්ම ගම්පති තැන ගියේ මහියංගන ඩිපෝවටය.

"හාපෝ අලුතෙන් බස්‌ දාන්න තරම් බස්‌ අපිට නෑ. අනික ඔය පාර හොඳටම අබලන්" අප්පුහාමිගේ ඉල්ලීම ගණනකට නොගන මහියංගන ඩිපෝ බලධාරීන්ගේ පිළිතුර එසේ විය. මෙසේ කීප වතාවක්‌ම මහියංගන ඩිපෝවට ඉල්ලීම් කළත් එය ප්‍රතික්‌ෂේප වුවත් පසුබට වූයේ ගම්පති තැන නොවේ. බලධාරීන් වෙත ලියූ ලිපි කබා සාක්‌කුවේ රඳවාගෙන ඉන්පසු ගම්පති තැන බදුල්ල ඩිපෝවට කකුල් ගෙවෙනතුරු ඇවිද ගියේය. බදුල්ල ඩිපෝවේ බලධාරීන් මහියංගන ඩිපෝවේ නිලධාරීන් තරමටවත් මේ අහිංසක ගැමියන්ට සවන් දුන්නේ නැත." එය හද්දා පිටිසරට මොකද බස්‌" ඔවුන් එසේ පවසමින් ඔලොක්‌කුවට සිනාසුනහ..

"මේ වැඩේ හරියන්නෙ නෑ. මෙන්න මෙහෙ වරෙල්ලා බං යන්න" මෙසේ ගිය එක්‌ දිනෙක ගම්පති තැන ඩිපෝ භූමියෙන් පිටවෙමින් තම සඟයනට පැවැසූයේ තරමක කේන්තියෙනි. කලකිරුණු සිතින් යුතුව එදා ගමන් කළ අප්පුහාමි මුලාදෑනි ඇතුළු ගම්වැසියන් කීප දෙනා නගරයේ ආපන ශාලාවට ඇතුළු වූයේ ගමන් වෙහෙස මඟහරවා ගැනීමට තේ කෝප්පයක්‌ පානය කිරීමේ අදහසිනි. එවකට ඉතා ප්‍රසිද්ධ හෝටලයක්‌ වූ මෙය බදුල්ල නගරයටම තිබූ විශාලතම එකද විය. රටේ පිට පළාත්වලින් බදුල්ල හරහා දිවෙන දුර ගමන් සේවා බස්‌ රථ තේ පානයට නතර කළේ ද මෙම ආපන ශාලාව අසලය. ගම්පති තැන ඇතුළු පිරිස එහි පැමිණෙන විට පානදුර සිට මඩකලපුව බලා යන බස්‌ රථයද තේ බීමට එහි නවතා තිබිණ. තේ පානය කරන අතර තුර මේසයේ කෙළවරේ පුටුවේ හිඳ තේ බොමින් සිටි අයකු සමඟ කථාවට වැටුණු අප්පුහාමි මුලාදෑනි තැන තමන්ට සිදුවූ අසාධාරණය ඔහු හා සමඟ පැවැසුවේ හිත සැහැල්ලු කර ගන්නට මෙනි. එහෙත් ඔහු නොදැනුවත්වම කථාවට වැටී තිබුණේ පානදුර, මඩකලපු බස්‌ රථයේ රියෑදුරා සමඟය. ඒ වන විට පානදුර ලංගම ඩිපෝව ද ලංකාවේ සතර දිග්බාගය සිට දුර ගමන් සේවා ඇරැඹූ කාලයයි. මේ නිසාම මඳ වේලාවක්‌ කල්පනා කළ රියෑදුරා ඒ ගම්පති තැන අමතමින් "ඔය ලියුම මට දෙන්න මම මේක අපේ ඩී. එස්‌. (ඩිපෝ කළමනාකාර) මහත්තයට දෙන්නම්." එදා එසේ බස්‌ රථයක්‌ ඉල්ලා ලියූ ලිපිය මඩකලපුව බස්‌ රථයේ රියෑදුරාට දී ආපසු ගමට යන අතරතුර තම සගයන්ට එම සිද්ධිය පැවැසුවත් තම ගමට ආසන්න ඩිපෝවලින් නොදෙන බස්‌ රථය ඈත මූදුකරේ පානදුරයෙන් නොලැබෙන බව ඔහු හො¹කාරවම දැන සිටියේය. ඒ කෙසේ වෙතත් ඒ සම්බන්ධයෙන් පුංචිම පුංචි බලාපොරොත්තුවක්‌ ඔහු සිත තුළ නොතිබුණාම නොවේ. මේ නිසාම දින කීපයකට පසු ඔහු බදුල්ලට ගියේ ලිපියට සිදුවූ දේ දැන ගැනීමටය.

එහෙත් සුන්වූ බලාපොරොත්තු සහිතව ගම්මුලාදෑනි තැනට ආපසු ගමට ඒමට සිදුවූයේ එදා පැමිණි රියෑදුරා එදින නොපැමිණි හෙයිනි. දුර ගමන් සේවා බස්‌ රථවල සේවය කරන රියෑදුරු, කොන්දොස්‌තර මහත්වරුන් දින 14 න් මාරුවන ක්‍රමයක්‌ පවතින බවත් ඒ අනුව අප්පුහාමි මුලාදෑනි තැනගේ ඉල්ලීම බාරගත් රියෑදුරා නැවත පැමිණෙන්නේ සති දෙකකින් බවත් එදා බස්‌ රථයේ රාජකාරී කළ රියෑදුරාගෙන් දැනගත් ගම්පති තැන හරියටම දින ගණන් බලා ඔහු මුණගැසීමට බදුලු ගියේය. "මම ඒ ලියුම ඩී. එස්‌. මහත්තයට දුන්න ගම්පති තැන හඳුනාගත් රියෑදුරා කීය.

මෙම සිදුවීමෙන් මාස තුනකට ආසන්න කාලයක්‌ ගතවීමෙන් පසුව නමුනුකුල කඳු අග්ගිස්‌සෙන් මලහිරු කහපාට වී තිබූ එක්‌ සවස්‌ ජාමයක කැටවත්ත වල ගොඩැලි මතින් උඩ පනිමින් ගොර ගොර ගා ගෙන පැමිණ පරණ පහේ ජීප් රථයක්‌ ගුරුපාර කෙළවර අප්පුහාමි ගම්පතිවරයාගේ වෙළෙඳසල අබියස නතර කෙරිණි. ඉන් බැසගත් කලිසම්කාර පුද්ගලයන් දෙදෙනකු වට පිට බලන්නට විය. ගමට අමුත්තන් වූ හෙයින් ගම්පති තැනද හෙමි හෙමින් එතැනට කිට්‌ටු කළේය. ඒ කාලයේ ගමට වාහනයක්‌ පැමිණීම ගම්මුන්ට ඉතා බරපතල කාරණයක්‌ විය. ඒ නිසාම දෝ ජීප් රිය අසලට රැස්‌වන පිරිසද ක්‍රමයෙන් වැඩිවන්නට විය. රැස්‌ව සිටි පිරිසට සිනාවකින් සංග්‍රහ කළ ජීප් රථයෙන් පැමිණි එක්‌ අයෙකු ගම්පති තැන දෙසට හැරී "අපි පානදුර ඩිපෝවෙන් ගමට බස්‌ එකක්‌ ඕන කියල ඉල්ලීමක්‌ කරලා තිබුණ. පාර තොට බලාගෙන යන්නයි ආවේ" ගම්පති තැනගේ හිසේ එකවර මල් දහසක්‌ පිපුනා සේ විය. අමුත්තන් දෙදෙනා පිළිගත් ඔහු ඔවුන් තම නිවෙසට කැඳවාගෙන ගොස්‌ ආගන්තුක සත්කාර ඉටුකළේය. පැමිණ තිබුණේ පානදුර ඩිපෝවේ සේවය කළ ධාවන කළමනාකරුවෙකු සහ ලංකා ගමනා ගමන මණ්‌ඩලයේ නිලධාරියෙකි. මගී ප්‍රවාහනය මුළුමනින්ම රජය සතුවූ ඒකාලයේ බස්‌ ධාවනය කිරීම ඩිපෝවකට අවසර ලැබුණේ පූර්ණ පරීක්‍ෂාවකින් අනතුරුවයි. එදිනම ආපසු යැමට නොහැකි හෙයින් පානදුරයෙන් පැමිණි නිලධාරීන්ට ගම්පති තැන සිය නිවසේ නවාතැන් සපයමින් සියලු සත්කාර කළේ ඉතා කැමැත්තෙනි. රෑ මැදියම තෙක්‌ම ගම්මුන් හා කථාබහ කරමින් සිටි ඔවුන්ට බස්‌ කථාවේ සියලු තතු ගම්පති තැන නොවලහා කීය. කැටවත්ත ගමේ වැඩියෙන් අද මෙන්ම එදාද ආගන්තුක සත්කාරයෙහි ලැදි සැබෑම ගැමියෝ වූහ. පසුදා උදේ නිලධාරීන් ආපසු යන විට කිතුල් හකුරු පැණි පට්‌ටා, කෙසෙල්, එළවළු ආදී තුටු පඬුරුවලින් ජීප් රිය පිරි තිබිණි. "හොඳයි අපි මේ ගැන ඉහළටම දන්වන්නම්" සමුගත් ඔවුන් ආපසු ගියහ.

තවත් තුන් මාසයක්‌ ගත විය. නිලධාරීන් ගියා ගියාමය. හාවක්‌ හූවක්‌ නැත. ඉනික්‌බිති එක්‌ දවසක එදා මෙන්ම හවස්‌ ජාමයක ගුරු පාර දිගේ නලාව හඬවාගෙන පැමිණ කුඩා ප්‍රමාණයේ තනි දොරේ බස්‌ රියක්‌ ගම්මුලාදෑනි තැනගේ වෙළඳසල අසල නතර කෙරිණි. බදුල්ල හරහා කැටවත්තට යන්න නාම පුරුවේ සටහන් වී තිබූ අතර පානදුර ඩිපෝව යන්න ඉදිරිපස සහ පසුපස කෙළවර පින්තාරු කොට තිබිණි. තමා වෙළඳ සලෙන් එළියට පැමිණියා නොව පිටතට විසිවූවාක්‌ මෙන් ගම්පතිතැනට දැනුණි. ගම්මු පැමිණ බස්‌ රථය වටකොට ගත්හ. කොහෙන්දෝ සොයාගත් රතිඤ්ඤා කරල් කීපයක්‌ චට පට හඬින් පිපිරී ගියේය. රියෑදුරු කොන්දොස්‌තර දෙපළ නිවසට කැඳවාගෙන ගිය අප්පුහාමි ගම්පති කෑම බීම පිළියෙල කොට දුන්නේය. ඔවුනට විවේක ගැනීමට එහිම කාමරයක්‌ වෙන් කළේය. ගම්වැසියන් පිරිසක්‌ වහ වහා බස්‌ රථය සෝදා පිරිසිදු කළේය. එදා මුළු ගමටම මඟුල්ය. පසුදා අලුයම 6.15 ට බස්‌ රථය ආපසු පිටත්වන විට එය පිරෙන්නට මගීන් සිටියහ. එදා හවස අනෙක්‌ බස්‌ රථය කැටවත්තට පැමිණියේය. එදා පටන් අද දක්‌වාම පානදුර කැටවත්ත බස්‌ රථය නොකඩවාම ගිරි දුර්ග හරහා ගමනේ යෙදේ. මෙම බස්‌ රථය නිසා අද වනවිට පානදුර හා කැටවත්ත අතර අපූරු සබැඳියාවක්‌ ගොඩනැගී ඇත. එය එක්‌තරා ආකාරයක උප සංස්‌කෘතියක්‌ ලෙසින් හැඳින්වුවහොත් අතිශයෝක්‌තියක්‌ නොවේ. කැටවත්ත ගමේ ඉපදෙන එළවළු පළතුරු පැණි හකුරු පානදුරට රැගෙන එන ගම්මු පානදුර පොළේදී ඒවා මුදල් කරති. පානදුරේ අලුත්ම අලුත් මූදු මාළු තැඹිලි ආදිය කැටවත්තට යති. කැටවත්තේ තරුණයන් පානදුර නගරයේ ව්‍යාපාරවල නිරත වේ. පානදුර හොරණ පාරේ කුරුස හන්දියේ පළතුරු අලෙවිසලක්‌ පවත්වාගෙන යන ඩී. එම්. ගාමිණී දිසානායක තරුණයා එවැන්නෙකි. කැටවත්තේ තරුණයන් පානදුරේ තරුණියන් හා අවාහ විවාහ වී සිටීම පානදුරයේ තරුණයන් කැටවත්තේ බින්න බැස හිඳිති. හොරණ, ඉංගිරිය, දෙහිවල, ප්‍රදේශවල පිහිටි ඇඟලුම් කම්හල්වල කැටවත්ත මීගහකිවුලේ තරුණියෝ ජුකී මසති. සිංහල අලුත් අවුරුදු සමයට මේ බස්‌ රථයේ අතුරු සිදුරු නැතිව සෙනඟ පිරෙන්නේ නෑගම් යන්නටය.

පානදුරයෙන් දිනපතා හිමිදිරියේ ගමන් අරඹන කැටවත්ත බස්‌ රථය බදුල්ලට ළඟාවන විට පස්‌වරු 2 පමණ වේ. එතැනදී බස්‌ රථය මඳක්‌ හිස්‌ වුවත් එය විනාඩි ගණනකට පමණි හිමිදිරි පාන්දර කැටවත්තෙන් පිටත්වන බස්‌ රථයෙන් බදුල්ලට පැමිණ තම අත්‍යවශ්‍ය කරුණු කාරණා ඉටුකර ගන්නා ගම්වැසියෝ පානදුරෙන් පැමිණෙන බසය එනතෙක්‌ බලා හිඳිති. දවසේ කීයට හෝ පානදුර බස්‌ රථය නොවරදවාම පැමිණෙන වග ඔවුහු දනිති. මේ සියලු දෙනාම රැගෙන පස්‌වරු 3 ට බදුල්ලෙන් පිටත්වන බසය මීගහකිවුල නගරයේ මඳ වේලාවක්‌ නතරකොට තබන්නේ මහියංගනය පැත්තේ සිට කැටවත්තට යන මගීන් පැමිණෙන තුරුය. සවස 5.30 ට පමණ බසය ඉහින් කනින් මගීන් එල්ලාගෙන කැටවත්තට පැමිණේ. අප්පුහාමි ගම්මුලාදෑනි තැන අද ජීවතුන් අතර නැත. ඒ අඩුව අද පිරවෙන්නේ ඔහුගේ වැඩිමහලු පුත් ධනපාල මුදලාලිගෙනි. එදා මෙන්ම අදත් බස්‌ රථය නතර කරන්නේ ගම්පති නිවස අසලය. රියෑදුරු, කොන්දොස්‌තර දෙපළට කෑම බීම නවාතැන් අදත් සැපයෙන්නේ ගම්පති නිවසෙනි. ගම්මු එකතුවී බස්‌ රථය සෝදා පවිත්‍ර කිරීම අද ද එලෙසම සිදුවේ. කැටවත්ත අවට උල්පත, සූරියගොල්ල, මොරහැල, මලාබඩගොල්ල, දිවුල්ගහගෙදර, මීගොල්ල ආදී ගම්මානවල සිට එළවළු පළතුරු ආදිය බස්‌ රථය අසලට අදත් රැගෙන එන්නේ ගොනුන් පිට තවලම්වලය. පානදුරයට, මීගහකිවුලට, බදුල්ලට මේවා රැගෙන යැමට එදා රාත්‍රියේම බස්‌ රථය තුළ අසුරා තැබේ.

ගෙවී ගිය හතලිස්‌ පස්‌ වසර ඇතුළත අනූව දශකයේ දී බදුල්ල ඩිපෝවෙන් ද බස්‌ රථයක්‌ බදුල්ල සිට කැටවත්තට ධාවනය කරනු ලැබිණි. එදා තමන් ප්‍රතික්‌ෂේප කළ අයට හොඳ පාඩමක්‌ ඉගැන්වීමට සිතූ කැටවත්ත ගැමියෝ බදුල්ල බස්‌ රථය වර්ජනය කළහ. අදත් එය එසේමය. කොපමණ වේලා ගතවූවන් පානදුර බස්‌ රථය නොවරදවාම පැමිණෙන බව දන්නා ඔවුහු එය එනතුරු රැඳී සිටිති. ආදායමක්‌ නොමැති නිසා දින කිහිපයකින් බදුල්ල ඩිපෝවේ බස්‌ රථය නවතා දමා ඇත. මේ වනවිට ලංකාවේ ඕනෑම අහුමුල්ලකට දිවෙන පුද්ගලික බස්‌ රථ ඇතත් කැටවත්ත ගමට නැත. 

පානදුර ඩිපෝවේ ඩිපෝ අධිකාරිවරයා මේ සම්බන්ධව අදහස්‌ දක්‌වමින් පැවසුවේ කැටවත්ත බස්‌ රථය දිනපතාම ධාවනය කරවීමට ඩිපේව මගින් පියවර ගන්නා බවකි. එදා අප්පුහාමි ගම්මුලාදෑනි තැනගේ කාලයේ දී මෙන්ම අදත් ගම්මු මේ බස්‌ රථය රැක ගන්නේ තම දෑස්‌ මෙනි. මේවායේ සේවය කරන රියෑදුරු කොන්දොස්‌තර මහත්වරුන් හා ගම්වැසියන් අතර අදත් පවතින්නේ සහෝදර බැඳීමකි. කොටින්ම පානදුර බස්‌ රථය කැටවත්ත ගැමියන්ට තමන් බැලීමට දිනපතා පැමිණෙන නෑයෙකි. ඒ නෑකම දිවි හිමියෙන් සුරැකීමට කඳු, හෙල් ගිරි ශිඛර තරණය කරමින් පානදුර බස්‌ රථය හෙටද කැටවත්තට එනු ඇත.
 
(ඡායාරූපය: නවීන් දර්ශන)

2016 ජනවාරි 13 යාවත්කාලීනය: කැටවත්ත - පානදුර මාර්ගයේ වර්තමානයේ ධාවනය වන PN 95 / NB-9438 දරණ අශෝක් ලේලන්ඩ් වයිකින්ග් ටර්බෝ බස් රථය කැටවත්ත බලා පිටත් වීමට  සූදානමින් පානදුර බස් නැවතුමේ දී. (ඡායාරූපය: තරිඳු වික්‍රමරත්න)
This photo was taken on December 01, 2015 in Panadura, Western, LK, using a Xiaomi 2014813.
Click on the image for full size picture.

1995 වසරේ දී කැටවත්ත බස් රථය, රියදුරු කොන්දොස්තර මහත්වරු හා ගැමියන් සමඟ (උපුටා ගත්තේ 1995 මැයි 07 ඉරිදා ලක්බිම පුවත් පතෙනි)
This photo was taken on 1995 in Katawatta, Badulla, Uva, LK
Click on the image for full size picture.

SLTB History

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ ඓතිහාසික ගමන්මග

 
 

1907 වසරේ ශ්‍රී ලංකාවේ මගී ගමනාගමන බස්රථ සේවාව ආරම්භ වූයේ හලාවත සිට කොළඹ දක්වා පෞද්ගලික බස් රථයක් ධාවනය කරමිනි. එදා සිට 1958 දක්වා මගී ගමනාගමනය සිදු වූයේ පෞද්ගලික බස්රථ සමාගම් තුළිනි. 1957 අංක 48 දරණ ගමනාගමන මණ්ඩ ල ආඥා පණත සම්මත වීම හරහා 1958 ජනවාරි 01 වන දින දිවංගත අග්‍රාමාත්‍ය ගරු එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතාගේ ප්‍රධානත්වයෙන් ප්‍රවාහන අමාත්‍ය ගරු මෛත්‍රීපාල සේනානායක ඇමතිතුමාගේ සහභාගීත්වයෙන් ගාලු මුවදොර පැවති විශේෂ උත්සවයකදී අංක 22 ශ්‍රී 1087 දරණ බස් රථයට ගරු ඇමතිතුමාගේ ගොඩ වී ප්‍රවේශපත්‍රයක් මිලදී ගෙන ගමන් කිරීමෙන් ලංකා ගමනාගමන මණ්ඩලයේ ධාවනය ආරම්භ කරන ලදී.


 
 
  මෙසේ ඇරඹි ලංකා ගමනාගමන මණ්ඩලයේ ප්‍රථම සභාපතිවරයා වූයේ වී.ඒ.එච්. ද මෙල් මහතා යි.

 


එතැන් සිට මෙතෙක් තිබූ පෞද්ගලික ඒකාධිකාරය බිඳ වැටී රජය එම තැන අත්පත් කර ගනිමින් රාජ්‍ය මාර්ගස්ථ මගී ප්‍රවාහන සේවය ආරම්භ විය. ඈත දුෂ්කර ග්‍රාමීය ප්‍රදේශ වලට ප්‍රවාහන සේවා සැපයීම, පාසැල් ශිෂ්‍යයින්ට සහනදායී ගාස්තු මත ගමන් කිරීමේ අවස්ථා හිමි වීම වැනි කරුණු හරහා එහි සේවාව මහජනයා වෙත වඩාත් සමීප විය. මෙම ගමන්මගෙහි 19 වැනි සැතපුම් කනුව වෙත ළඟා වන විට එනම් 1977 වන විට ලංගම ස්වර්ණමය යුගයෙහි පසුවිය. එකල සභාපතීත්වය දැරුවේ අනිල් මුණසිංහ මහතා විසිනි. මෙකල ලංගම සිය ජාතික මෙහෙවර විවිධ අංශ හරහා ව්‍යාප්ත කර තිබුණි.


එනම් වේරහැර මධ්‍යම වැඩපළ ඉදිකිරීම, ගිංතොට, උඩුබද්දාව, කැප්පෙටිපොල, කුරුණෑගල, ගාල්ල, මහනුවර, ඒකල ප්‍රාදේශීය වැඩපළ ඉදිකිරීම, මොරටුව බස්රථ නඩත්තු මධ්‍යස්ථානය ආරම්භ කිරීම, සංචාරක බංගලා ඉදිකිරීම, අලුතින් ඩිපෝ ආරම්භ කිරීම, රියදුරු පුහුණු පාසැල් ඇරඹීම, තැපැල් සේවා ක්‍රියාත්මක කිරීම, ගරුතර භික්ෂූන් වහන්සේලා සඳහා කූපන් ක්‍රමයක් මගින් ප්‍රවේශපත්‍ර නිකුත් කිරීම, ටිකට් යන්ත්‍ර අලුත් වැඩියා මධ්‍යස්ථානයක් ඇරඹීම, කළමනාකරණ පුහුණු මධ්‍යස්ථානයක් ඇරඹීම හා සමස්ත කාර්ය මණ්ඩලය සඳහා වෛද්‍ය මධ්‍යස්ථාන ඇරඹීම ආදිය මේ අතුරින් කැපී පෙනෙන සාධක ලෙස දැක්විය හැක.


1978 වර්ෂයේ දී ලංකා ගමනාගමන මණ්ඩලය, මධ්‍යම ගමනාගමන මණ්ඩලය ලෙසට හා ප්‍රාදේශීය ගමනාගමන මණ්ඩල 09 ට කොටස් කර විමධ්‍යගත කරන ලදී. එම වසරේ දී ම මෙතෙක් පැවති රජයේ ඒකාධිකාරය බිඳ දමමින් පෞද්ගලික අංශයට මාර්ගස්ථ මගී ප්‍රවාහනයේ යෙදීමට අවසර ලැබුණි. 1987 අංක 23 දරණ පණතට අනූව 1990 දෙසැම්බර් 18 දින බස් ඩිපෝ වෙන වෙන ම පාලනය වන සමාගමක් ලෙසට විමධ්‍යගත කර ජනතාසන්තක බස් සමාගම් බිහි විය. මීගමුව රත්මලාන සහ මහනුවර දකුණ ඩිපෝවන් ආරම්භක ජනතාසන්තක සමාගම් විය. ඉන්පසු ජාතික ගමනාගමන කොමිසන් සභා පනත 1996 අංක 30 දරණ සංශෝධන පනත මගින් සංශෝධනය කර ජනතා සන්තක බස් සමාගම් පොකුරු බස් සමාගම් බවට පත් විය. ඉන්පසු 2005 අංක 27 දරණ පණත මගින් ශ්‍රී ලංකා ගමනාගමන  මණ්ඩල පනත බිහි විය. ඒ තුළින් නැවත මධ්‍යගත පාලනයට අනුගත විය. ඉන් පසු නැවතත් ශ්‍රී ලංගම සභාපතිවරයෙකු සහිත අධ්‍යක්ෂ මණ්ඩලය මගින් පාලනය වීම ඇරඹුණි.


මෙසේ නව ජීවයක් ලැබූ ශ්‍රී ලංගම නව බස්රථ 2000 ක් මිලදී ගෙන ධාවනයට එකතු කිරීමත් ධාවනයෙන් ඉවත්ව ඇති බස් රථවලට නව එංජින් 270 ක් සවිකර ධවනයට එකතු කිරීම ඔස්සේ රථ ඇනිය පුළුල් කරන ලදී. කාර්යාල සේවක ගමන් පහසුව සඳහා දුම්රිය ස්ථානවල සිට රජයේ කාර්යාල ආවරණය වන පරිදි නව ගමනාන්ත සහිතව ගමන්වාර ආරම්භ කිරීම, “සිසු සැරිය” ව්‍යාපෘතිය යටතේ පාසැල් සේවා බස්රථ ද අඛණ්ඩව ධාවනයට එක් කිරීම, ලංගම ඩිපෝ අතුරින් වඩාත් කාර්යක්ෂමතාවක් පෙන්නුම් කරන ලද ඩිපෝ තෝරාගෙන ආදර්ශ ඩිපෝ වශයෙන් නව ව්‍යාපෘතීන් ආරම්භ කිරීම හරහා කාලසටහන් අවශ්‍යතාව සපුරා ගැනීමට කටයුතු කිරීම මෑත අවධියෙහි ගත් වැදගත් පියවරක් වෙයි. අක්‍රමවත් ව පැවති අලුතින් බඳවා ගැනීම් විධිමත්ව විනිවිදභාවයෙන් යුක්ත ව සිදුකිරීමට පියවර ගැනීම හරහා ලිඛිත හා වාචික පරීක්ෂණ වලින් පසුව උපාධිධාරීන් 110 දෙනෙකු 2008 නොවැම්බර් 16 දින බඳවා ගැනීමට කටයුතු කර ඇත. මීට අමතරව අම්පාර ප්‍රදේශයේ පිහිටි ටයර් නැවත පිරවීමේ කම්හල නවීකරණය කර නිෂ්පාදන ධාරිතාව වැඩි කිරීම කැපී පෙනේ. තොරතුරු තාක්ෂණයේ අවශ්‍යතාව මත නව තොරතුරු තාක්ෂණ ඒකකයක් ශ්‍රී ලංගම තුළ පිහිටුවීම, කොළඹ පිටකොටුව මධ්‍යම බස් රථ කාර්යාලය ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු ඇරඹීම, නව ආරක්ෂක බළකායක් ශ්‍රී ලංගම තුළ ස්ථාපිත කිරීම හා පෞද්ගලික බස් රථ හා ශ්‍රී ලංගම බස් රථ ඒකාබද්ධ කාලසටහන් ක්‍රමයක් යටතේ ධාවනය කිරීමට අවශ්‍ය කටයුතු ක්‍රියාත්මක කිරීම සුවිශේෂී පියවර වෙත්.


මෙවැනි සුභාවාදී නව ප්‍රවේශයන් තුළින් ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය ලාංකික මගී ජනයා වෙත වඩා ගුණාත්මක සේවාවක් ලබා දීමේ අරමුණ පෙරදැරිව අභිමානයෙන් ගමන් කරනු ඇත.

ලංගමට පෙර

ලංගමට පෙර කොළඹ නගරයේ පොදු ප්‍රවාහනය

 
1950 දශකයේ කොළඹ නගරයේ ධාවනය වූ ට්‍රෑම් කාර් රථයක් සහ ට්‍රොලි බස් රථයක් 
1958 වසරේ ජනවාරි 01 වන දින, ඒ දක්වා දිවයිනේ මගී ප්‍රවාහනය සිදු කල බස් සමාගම් 70 ක් රජයට පවරා ගනිමින් ලංගම පිහිටවූ බව, අප පෙරදී පල කල 1958 බස් ජනසතුව ලිපිය ඇසුරු කල ඔබ දැනටමත් දන්නා කරුණකි. එහෙත් 1958 ට පෙර කොළඹ නගරය ආශ්‍රිතව පොදු ප්‍රවාහනය ගැන කතා කිරීමේදී බස් සමාගම් වලටම සීමා වීමට නොහැකි කරුණක් ඇත. මන්ද යත්, එවකට කොළඹ නගරය තුල පොදු ප්‍රවාහන සේවා පවත්වාගෙන යාමේ විශාල වගකීමක් කොළඹ මහා නගර සභාව සතුවද පැවති හෙයිනි. එම වගකීමට උර දෙමින් කොළඹ නගර සීමාවන් තුල ට්‍රෑම් සේවාව හා ට්‍රොලි බස් සේවාවපවතවාගෙන යාම කොළඹ මහා නගර සභාවේ මගී ප්‍රවාහන සේවා දෙපාර්තමේන්තුවට (Colombo Municipal Passenger Transport Department) භාර වී තිබී ඇත.


කොළඹ ට්‍රෑම් සේවාව -- Colombo Tramways
1899 වසරේ කොළඹ ට්‍රෑම් රථ සේවාව ඇරඹීම
ට්‍රෑම් රථ සේවාවන්හි ඉතිහාසය පිලිබඳ පිරික්සීමේදී කොළඹ ට්‍රෑම් රථ සේවාවට ප්‍රමුඛ ස්ථානයක් හිමිව තිබී ඇත. දකුණු ආසියාවේ මුල්ම ට්‍රෑම් රථ සේවය වන්නේ කොළඹ ට්‍රෑම් රථ සේවාවයි. එහි ආරම්භය 1899 වසර දක්වා අතීතයට විහිද යන්නකි. 1899 වසරේ සැප්තැම්බර් මස 12 වන දින බ්‍රිතාන්‍ය පාලනය යටතේ ට්‍රෑම් රථ සේවාව ආරම්භ කර ඇත්තේ 'Boustead brothers Ltd.' නම් සමාගමක් මගිනි. කෙසේ වුවද මහජනයාට මෙම සේවාව විවෘත්තව ඇත්තේ 1900 වසරේ ජනවාරි මස  13 වන දින සිටය. 1929 වසරේ Boustead brothers සමාගමට විරුද්ධව සේවක වැඩ වර්ජනයක් ක්‍රියාත්මක වී ඇත. ට්‍රෑම් රථ විදුලි රැහැනක් කඩා වැටීම නිසා මගියෙකු මරණයට පත්වීමේ සිද්ධියක් ද වාර්තා වී ඇති අතර එවන් අනතුරු යලි ඇතිවීම වලක්වා ගැනීම සඳහා කමිටුවක් ද පත් කර ඇත. 1944 වසරේ සැප්තැම්බර් මස 01 වන දින Boustead brothers සමාගමට රුපියල් 3 663 443 ක මුදලක් ගෙවා ට්‍රෑම් රථ සේවාව කොළඹ මහා නගර සභාව වෙත පවරා ගෙන ඇති අතර 1960 වසර දක්වාම සේවාව පැවතී ඇත.

1959 වසරේ කොළඹ නගරයේ ධාවනය වී ඇති අංක 46 දරණ ට්‍රෑම් රථය
ට්‍රෑම් රථ ධාවනය වී ඇත්තේ  අඩි 3 අඟල් 6 ක (​1,067 mm) පළලකින් යුතු රේල් පාරක් (grooved street track) මතය. රථයට ජවය සැපයෙන්නේ විදුලි රැහැන් මගින් වන අතර රැහැනේ සිට රථයට විදුලිය හුවමාරු වී ඇත්තේ 'Trolley pole' ක්‍රමයටය. ධාවනය වූ 60 වසර පුරාම විවිධ ස්වරූපයේ ට්‍රෑම් රථ කොළඹ නගරය තුල සැරිසරා ඇති අතර එයින් කිහිපයක ඡායාරූප පහතින් දැක්වේ.

කොළඹ වීථියක ධාවනය වූ ට්‍රෑම් රථයක්
1950 දශකයේ පිටකොටුව. ඉදිරියෙන්ම ධාවනය වන ට්‍රෑම් රථයක් රූපයේ දැක්වේ. උපුටා ගත්තේ තැපැල්පතකිනි.
කොළඹ නගරයේ ධාවනය වූ තවත් ට්‍රෑම් රථයක්
කනගාටුවට කරුණක් වන්නේ අද වන විට කොළඹ ට්‍රෑම් රථ සේවාව හා එහි ඉතිහාසයට අදාළ කිසිවක් නිසි සංරක්ෂණයකට ලක්ව නොතිබීමයි. එසේ ලක්ව තිබුණි නම් අද එයට විශාල වටිනාකමක් මෙන්ම සංචාරක ආකර්ෂණයක් ද නිසැකවම හිමි වෙනු ඇති. අදටත් කොළඹ නගරයේ කැනීම් කරන අවස්ථාවන් වලදී ට්‍රෑම් රථ වලට අදාළ පීලි ඇතුළු උපාංග පොළවෙන් මතුවේ.
කොළඹ නගරයේ භූගත විදුලි රැහැන් සඳහා කැණීම් කරන අවස්ථාවක මතු වූ ට්‍රෑම් රථ පීලි කොටස්. 
ඡායාරූපය: අමිල චතුරංග 

කොළඹ ට්‍රොලි බස් සේවාව -- Colombo Trolley Buses (1951 - 1964)
මාර්ග අංක 669 යටතේ කොටහේන, පිටකොටුව හරහා මරදාන අතර ධාවනය වූ BUT 9611T වර්ගයේ 
Weymann බඳ සහිත ට්‍රොලි බස් රථයක්
ට්‍රෑම් රථ සේවාව රේල් පීලි වලට සීමා වීම නිසාත්, පහසුකම් අඩු වීම නිසාත්, දිනෙන් දින ඉහල යන මගී ගහනය නිසාත් නගරය තුල පොදු ප්‍රවාහනය තවදුරටත් විධිමත් කිරීමට කොළඹ මහා නගර සභාවේ මගී ප්‍රවාහන සේවා දෙපාර්තමේන්තුවට අවශ්‍ය විය. ඒ හෙයින් වඩා සුව පහසු ට්‍රොලි බස් රථ ධාවනයට එක් කිරීමට ඔවුන් පියවර ගන්නා ලදී. ඒ අනුව 1951 වසරේ කොළඹ ට්‍රොලි බස් සේවාව ආරම්භ කරන ලදී. ඒ සඳහා සියළුම බස් රථ එංගලන්තයෙන් නවතම බස් රථ ලෙස ආනයනය කර ඇති අතර ඒ වෙනුවෙන් එම දෙපාර්තමේන්තුව වියදම් කර ඇති මුදල රුපියල් ලක්‍ෂ 50 කි. සමස්ත නගරයම ආවරණය වන ලෙස ට්‍රොලි බස් සේවාව පුළුල් කිරීමට, මහා නගර සභාව රජයෙන් ඉල්ලා සිටියද ට්‍රෑම් රථ ධාවනය වූ මාර්ග වල පමණක් ට්‍රොලි බස් රථ සේවා පවත්වාගෙන යාමට ඔවුනට රජයෙන් අවසර හිමි වී ඇත.

එන්ජින් රහිත ට්‍රොලි බස් රථ සඳහා අවශ්‍ය ජවය සැපයෙන්නේද මාර්ගයේ විශේෂයෙන් ඇදි විදුලි රැහැන් මගිනි. රැහැන් වල විදුලිය බස් රථ තුලට සම්ප්‍රේෂණය කිරීම සිදුවන්නේ රථ වල වහලයේ සවි කල පැන්ටනෝග්‍රාප් (Pantograph) උපකරණ මගිනි. එම ජවයෙන් විදුලි මෝටර කරකවා එම ජවය බස් රථයේ රෝද වෙත් සම්ප්‍රේෂණය කිරීම සිදුවේ.

කොළඹ ට්‍රොලි බස් සේවාව සමඟ ප්‍රධාන ට්‍රොලි බස් වර්ග 2ක් එකතු වී ඇත. BUT 9611T තට්ටුවකින් යුක්ත Weymann හා  East Lancashire බඳ වර්ග සහිත දෙමහල්  ට්‍රොලි බස් මෙන්ම Sunbeam MF2B තට්ටුවකින් හා East Lancashire බඳකින් යුතු තනි මහල් ට්‍රොලි බස් රථ එම වර්ගයන් වේ. දෙමහල් බස් රථ 35ක් 1951 සහ 1952 වසර වල ධාවනයට එක් වී ඇත. ඒවාට CV-2237 සිට CV-4204 අතර ලියා පදිංචි අංක ලැබී ඇත. තනි මහල් බස් රථ 26ක්  1956 වසරේ ධාවනයට එක් වී ඇත. ඒවා සඳහා 33ශ්‍රී193 සිට 33ශ්‍රී991 අතර ලියා පදිංචි අංක ලැබී ඇත. ඒ අනුව මුළු ට්‍රොලි බස් රථ ඇණිය 61 කි.

කොළඹ ට්‍රොලි බස් සේවාව වෙනුවෙන් නිපදවූ, Weymann බඳ සහිත BUT 9611T ට්‍රොලි බස් රථයක් 
එංගලන්ත Weymann කර්මාන්ත ශාලා පරිශ්‍රයේ දී. 
කොළඹ ට්‍රොලි බස් සේවාව වෙනුවෙන් නිපදවූ, East Lancashire බඳ සහිත Sunbeam MF2B ට්‍රොලි බස් රථයක්
එංගලන්ත East Lancashire කර්මාන්ත ශාලා පරිශ්‍රයේ දී. 

කොළඹ ට්‍රොලි බස් රථ සේවාවට අදාළ  ඡායාරූප කිහිපයක් පහත දැක්වේ
කොළඹ නගරයේ ධාවනය වූ, Weymann බඳ සහිත BUT 9611T ට්‍රොලි බස් රථ
කොළඹ නගරයේ ධාවනය වූ, Weymann බඳ සහිත BUT 9611T ට්‍රොලි බස් රථයක්
කොළඹ නගරයේ ධාවනය වූ, East Lancashire බඳ සහිත Sunbeam MF2B ට්‍රොලි බස් රථයක්
 
ට්‍රොලි බස් රථ ගාල් කල ඩිපෝ අංගනයක්.

Weymann බඳ සහිත BUT 9611T වර්ගයේ දෙමහල් ට්‍රොලි බස් රථයක රියදුරු කුටිය
1958 ජනවාරි 1 වන දිනෙන් පසු මුළු දිවයිනේ සමස්ථ මාර්ගස්ථ මගී ප්‍රවාහන සේවාවන් හි වගකීම ලංකා ගමනාගමන මණ්ඩලය වෙත පැවරුණු අතර මණ්ඩලය සතුව විධිමත් ව්‍යාවස්ථාවක් මෙන්ම වැඩපිළිවෙලක් ද විය. එහෙයින් ට්‍රොලි බස් වල අවශ්‍යතාවය දිනෙන් දින අවම මට්ටමකට පත්වී ඇත. විදුලි හා නඩත්තු වියදම් වැඩි වීමද එක් හේතුවක් යයි ඇතැමුන්ගේ මතයයි. අවසන 1964 වසරේ ජනවාරි මස 12 වන දින ට්‍රොලි බස් සේවාව නවතා දැමුණු අතර ඉතිරි බස් රථ ලංගම වෙත පවරා දී ඇත. එන්ජින් නොමැති තනි තට්ටුවේ ට්‍රොලි බස් රථ තවත් තනි තට්ටුවේ බසයක් අධාරයෙන් ඇදගෙන යමින් (trailer bus) ධාවනය කරවා ගාළු පාරේ නියමු ව්‍යාපෘතියක් ලංගම මගින් ක්‍රියාත්මක කර තිබුනද, එයද අසාර්ථක වූ තැන මෙම රථ ලංගම මගින් වෙන්දේසියට නියම කර ඇත.
වෙන්දේසියට නියම වූ ට්‍රොලි බස් රථ. ලංගම වේරහැර වැඩපොළ පරිශ්‍රයේ දී.
පාඨක ප්‍රජාව තුල මෙම සේවාවන් පිලිබඳ තිබුණු අනවබෝධයත් ඔවුන්ගේ ඉල්ලීමත් මත මෙම විශේෂ ලිපිය පළ කිරීමට තීරණය කලෙමි. මෙම සේවාවන් පිලිබඳ ඔබට යම් අවබෝධයක් ලැබෙන්නට ඇතැයිද විශවාස කරමි. කාලයේ වැලි තලාවන්ගෙන් වැසී ගොස් තිබුණු තවත් අපූරු පොදු ප්‍රවාහන පුරාවෘත්තයන් දෙකක් පිලිබඳ සටහන මෙසේ නිම කරමි.
 
පසු සටහන:
අතීතයේ මෙවන් නවීනතම පොදු ප්‍රවාහන පද්ධතීන්ට උරුමකම් කියූ අප, අද පොදු ප්‍රවාහන ක්ෂේත්‍රයේ අත් කරගෙන ඇත්තේ ප්‍රගතියක්ද, ආපස්සට ගමන් කිරීමක් දැයි අප අපගේම හදවත් වලින් විමසිය යුතුය. අඩුම තරමින් අනාගත පරපුරට දැක ගැනීමට මේවයින් යම් කොටසක් සංරක්ෂණය කල යුතුව තිබුනද එයටද අපට හැකියාවක් ලැබී නොමැත. විදේශික ඡායාරූප ශිල්පීන් අප රටට පැමිණ ලබාගත් මෙවන් ඡායාරූප නොවන්නට, මේවා පිලිබඳ එක අංශු මාත්‍රයක් හෝ අපට දැන ගැනීමට නොලැබෙන්නට තිබුණි. ඔවුන්ට කෙරෙන ගෞරවයක් වශයෙන් ඡායාරූප වල අයිතිය සුරකින මෙන් සියලුම පාඨකයින් ගෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.