නවතම පුවත්

“75 වැනි නිදහස් දිනයට සමගාමීව දිවයිනේ ග්‍රාමීය මාර්ගවල පොදු ප්‍රවාහනය ශක්තිමත් කිරීම සඳහා ඉන්දීය ණය යෝජනා ක්‍රමය මඟින් නව බස් රථ 500ක් බෙදා හැරේ. ”




75වන නිදහස් සමරුවට සමගාමී ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ මෙරට ග්‍රාමීය මාර්ග වල පොදු ප්‍රවාහනය ශක්තිමත් කිරීම සඳහා නව බස්රථ 500ක්‌ ධාවනයට යෙදවීමේ වැඩසටහන යටතේ මෙම බස් රථ දිවයිනේ සියළුම ඩිපෝ වෙත බෙදා දෙනු ලැබේ.ඒ යටතේ ගාල්ල, මාතර හා කළුතර එම දිස්ත්‍රික්කවල ඩිපෝ වෙත බස් රථ බෙදාදීම සඳහා මෙම උත්සවය සංවිධානය කර තිබිණි. මේ අවස්ථාව සදහා කතානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මැතිතුමා,රාජ්‍ය අමාත්‍ය මොහාන් පී ද සිල්වා,පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සම්පත් අතුකෝරල, නිපුන රණවක, වජිර අබේවර්ධන යන මහත්වරුන්, ප්‍රාදේශීය දේශපාලන නියෝජිතයින් සහ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ ගරු සභාපති ලලිත් ද අල්විස් මහතා සහ නිලධාරීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථා සඳහා එක්ව සිටියහ.

“මුලතිව් ඩිපෝවේ අලුතින් ඉදිකරන ලද ඉන්ධන පිරවුම්හල ගරු ලංගම සභාපති ඇතුළු ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්ව නිලධාරීන්ගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරේ ”




වසර ගණනාවක් පුරා කලාපයේ ප්‍රවාහන අවශ්‍යතා සපුරාලන මුලතිව් ඩිපෝවට අලුතින් ඉදිකරන ලද ඉන්ධන පිරවුම්හල සුවිශේෂී එකතුවකි. සමාරම්භක උත්සවයේදී සභාපතිවරයා විසින් මුලතිව් ඩිපෝවේ කාර්ය මණ්ඩලය විසින් නව ඉන්ධන පිරවුම්හල සුමටව ඉදිකිරීම සහ ක්‍රියාත්මක කිරීම සහතික කිරීම සඳහා දරන ලද වෙහෙස සහ කැපවීම පිළිබඳව ප්‍රශංසා කළේය. කලාපයේ දිනෙන් දින ඉහළ යන ඉන්ධන ඉල්ලුම සපුරාලීමට සහ ඩිපෝවේ සමස්ත කාර්යක්ෂමතාව ඉහළ නැංවීම සඳහා මෙම ඉන්ධන පිරවුම්හලේ ඇති වැදගත්කම ද අවධාරණය කළේය. නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (මෙහෙයුම්) සහ ප්‍රධාන ප්‍රාදේශීය කළමනාකරු (උතුරු කලාපය) ද ඩිපෝ කාර්ය මණ්ඩලයේ උත්සාහය අගය කළ අතර කලාපයේ ජනතාවට උසස් තත්ත්වයේ ප්‍රවාහන සේවා සැපයීමට ශ්‍රී ලංගමයේ කැපවීම අවධාරණය කළේය.
මුලතිව් ඩිපෝවේ කළමනාකාරවරයා නව ඉන්ධන පිරවුම්හල ඉදිකිරීමට සම්බන්ධ වූ සියලු දෙනාට ස්තුතිය පුද කළ අතර පාරිභෝගිකයින්ට කාර්යක්ෂම සහ විශ්වාසනීය සේවාවක් ලබාදීමට ඩිපෝවේ කැපවීම යළිත් අවධාරණය කළේය. මුලතිව් ඩිපෝවේ අලුතින් ඉදිකරන ලද ඉන්ධන පිරවුම්හල විවෘත කිරීම ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය සිය මෙහෙයුම් වැඩිදියුණු කිරීමට සහ පාරිභෝගිකයින්ට වඩා හොඳ සේවාවක් ලබා දීමට දරන උත්සාහයේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරයි.

“ලංගම රියදුරු සහ කොන්දොස්තර මහතුන් හට පත්වීම් ලිපි පිරිනැමීමේ උත්සව අවස්ථාව....”




ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ පවතින අත්‍යවශ්‍ය රියදුරු සහ කොන්දොස්තර වරුන්ගේ පුරප්පාඩු දහසකට අධික ප්‍රමාණයක් පිරවීම සඳහා ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මැතිතුමා විසින් කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරන ලද අතර, ඒ අනුව රියදුරන් 800ක්‌ සහ කොන්දොස්තරවරුන් 275ක් බඳවා ගැනීම සඳහා කැබිනට් අනුමැතිය හිමිවිය. ඒ අනුව සම්මුඛ පරීක්ෂණ පවත්වා තෝරාගත් පළමු කණ්ඩායම ලෙස රියදුරු මහතුන් 100 දෙනෙකු සහ කොන්දොස්තර මහතුන් 50 දෙනෙකු සඳහා පත්වීම් ලිපි පිරිනැමීම නාරාහේන්පිට ජාතික ගමනාගමන කොමිෂන් සභා ශ්‍රවනාගාරයේදී සිදු කෙරිණ. මෙම වැඩසටහන සඳහා ප්‍රවාහන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මැතිතුමා, ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මැතිතුමා හා ලංගම සභාපති ලලිත් ද අල්විස් මහතා, ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ සභාපති ශෂී වෙල්ගම මහතා ඇතුළු ලංකා ගමනාගමන මණ්ඩලයේ නිලධාරීන් හා පත්වීම් ලාභීන් එක්ව සිටියහ.

“ලංගම බස් රථවල ආසන වෙන් කිරීම ONLINE ක්‍රමයට”




ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය හා පෞද්ගලික අංශයේ සහය ඇතිව මගීන්ට තම බස් රථ මාර්ගගතව ආසන වෙන්කරවා ගැනීමේ නව ව්‍යාපෘතියක් පසුගියදා දියත් කර කෙරිණි.මෙම මුලපිරීම මගින් දිවයින පුරා බස්රථ 1200 කට අධික ජාලයක් සහ ගමනාන්තයන් ආවරණය වන පරිදි මගීන්ගේ බස් ටිකට්පත් වෙන්කරවා ගැනීම හා මගීන්ට කාර්යක්ෂම සේවාවක් ලබා දිමට සැලසුම් කර ඇත. ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ දුර සේවා බස් රථවල ඔන්ලයින් ක්‍රමවේදය හරහා ආසන වෙන් කර ගැනීමේ ක්‍රමවේදය හඳුන්වාදීමේ සමාරම්භක උළෙල මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේදී පැවැත්වුණා.බස් පර්යන්තවල මගීන්ට නිතර මුහුණ දෙන දිගු පෝලිම් සහ රැඳී සිටීමේ වේලාවන් අවම කිරීම මගින් මෙම ව්යාපෘතිය මගින් ශ්‍රී ලංකාවේ පොදු ප්‍රවාහනයේ සමස්ත කාර්යක්ෂමතාව සහ ගුණාත්මක බව ඉහළ නැංවීමට අපේක්ෂා කෙරේ. මෙම ව්‍යාපෘතිය සිරිපාල ගම්ලත් රාජ්‍ය අමාත්‍යවරයාගේ සහ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ ගරැ සභාපති එස්.එම්.ඩී.එල්.කේ.ඩී.අල්විස් මහතාගේ මගපෙන්වීම යටතේ ක්‍රියාත්මක නැගුණී.

“බසයෙන් අනාගතයට”




අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සංකල්පයක් මත පදනම්ව වාහන නියාමන, බස් රථ ප්‍රවාහන සේවා, දුම්රිය මැදිරි හා මෝටර් රථ කර්මාන්ත ගරු රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතාගේ ඉල්ලීම පරිදි නැවත ධාවනය සඳහා සකස් කල නොහැකි භාවිතයෙන් ඉවත්කළ බස්රථ අංග සම්පුර්ණ පුස්තකාල ලෙස ප්‍රතිනිර්මාණය කිරීමේ ව්‍යාපෘතියක් “බසයෙන් අනාගතයට” නමින් අප විසින් ආරම්භ කරනු ලැබුවා. සියල්ලට ප්‍රථම මිනිස්කම පෙරදරී කරගත් මනුසත් දෙරණ හා එක්වූ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය ,ශ්‍රී ලංකා ටෙලිකොම් මොබිටෙල්, හා ශ්‍රී ලංකා ජාතික පුස්තකාලය යන ආයතන ඉතා උනන්දුවෙන් හා කැපවීමෙන් සිය සම්පත්, ධනය, කාලය හා ශ්‍රමය නොමසුරුව මෙම ව්‍යාපෘතිය සාර්ථක කරගැනීමට වැය කරනු ලැබුවා. මෙලෙස ප්‍රතිනිර්මාණය කරන ලද පුස්තකාල බස් රථ ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක 5ක තෝරාගත් පුස්තකාල පහසුකම් රහිත, අඩු පහසුකම් සහිත පාසල් 5ක් වෙත ලබාදීම මින් පෙර සිදු කරන ලද අතර ව්‍යාපෘතියේ දෙවන අදියර ලෙස සෙසු දිස්ත්‍රික්ක 20 සඳහා මෙලෙස තෝරාගත් පාසල් 20ක් සඳහා පුස්තකාල බස් රථ පරිත්‍යාග කිරීම මාර්තු 12 දින ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ අතින් අරලියගහ මන්දිරයේදී සිදුකරන ලදී. අදාල පාසල් වල සිසුන් හා විදුහල්පතිවරුන්, ගරු ප්‍රවාහන අමාත්‍ය ගාමිණී ලොකුගේ ගරු රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම,ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති කිංස්ලි රණවක, දෙරණ මාධ්‍ය බ්ජලයේ උප සභාපති, ශ්‍රී ලංකා ජාතික පුස්තකාලයේ සභාපති, ශ්‍රී ලංකා ටෙලිකොම් මොබිටෙල් සභාපති හා ඉහත සඳහන් ආයතනවල අධ්යකක්ෂ හා කාර්ය මණ්ඩල සාමාජිකයින් අදාල ආයතන නියෝජනය කරමින් මෙම අවස්ථාවට සහභාගිවූ අතර අමාත්‍යවරුන්, ආණ්ඩුකාරවරුන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හා අමාත්‍යංශ ලේකම් වරුන් ද මෙම අගනා කර්තව්‍ය අගය කරමින් මෙම අවස්ථාවට සහභාගී වන ලදී.

Park & Ride අධි සුඛෝපභෝගී බස් රථ සේවාවක් City Bus නමින් විසින් විශේෂ වැඩ සටහන දියත් කරයි.




කොළඹ නගරය ආශ්‍රිත වාහන තදබදයට පිළියමක් ලෙස හඳුන්වා දෙන “Park & Ride” බස් රථ සේවාවේ පළමු අදියර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් කොට්ටාව, මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය කේන්ද්‍ර කරගනිමින් අද (15) පෙරවරුවේ ආරම්භ කෙරිණ. මෝටර් රථයෙන් සහ යතුරු පැදියෙන් ගමන් ගන්නා මගීන් සඳහා සුවපහසු, ආරක්ෂිත පොදු ප්‍රවාහන බස්රථ සේවාවක් සැපයීම මගින් කොළඹ සහ තදාසන්න නගර වලට ගමන් කරන වාහන සංඛ්‍යාව අඩු කිරීම මෙහි අරමුණයි. පරිසර දූෂණය, වැයවන කාලය සහ මගීන්ගේ මානසික පීඩනය අවම කිරීම ද අපේක්ෂා කෙරේ. ආසන ගණනට මගීන් රැගෙන යාමට සුඛෝපභෝගී බස්රථ පමණක් යොදා ගැනේ. අයකෙරෙන මුදල සාමාන්‍ය බස් රථ ගාස්තුව මෙන් දෙගුණයකි. නැවතුම්පොළ සීමිත සංඛ්‍යාවකින් පමණක් මගීන් නංවා ගැනීම, අඩු කාලයකින් ගමනාන්තය කරා ළඟාවීම, ආචාරශීලී, සුහදශීලී හා ආකර්ශණීය ප්‍රවාහන සේවාවක් සැලසීම, තාක්ෂණය උපයෝගී කරගෙන දිනපතා කෙරෙන පසුවිපරම සහ Clock Wise හා Anti Clock Wise ගමන් වර්ග දෙකක් ක්‍රියාත්මක වීම වැඩසටහනට අයත් වේ. මගීන්ට සිය මෝටර් රථය බහුවිධ මධ්‍යස්ථානයට අයත් රථ ගාලෙහි මුදල් ගෙවීමකින් තොරව නතර කර තැබීමට පහසුකම් සලසා තිබේ. වැඩසටහනෙහි ප්‍රගතිය සැලකිල්ලට ගෙන වාහන නවතා තැබීමේ ඉඩ පුළුල් කිරීමට අපේක්ෂා කෙරේ. පෙ.ව 06.00 සිට පෙ.ව 08.00 සහ ප.ව 04.00 සිට ප.ව 09.00 දක්වා විනාඩි 15 කට වරක් බස් රථ ධාවනය කරනු ලැබේ. පෙ.ව 08.00ත් ප.ව 04.00 ත් අතර කාලය තුළ බස් රථ ධාවනය වන්නේ විනාඩි 25කට වතාවකි. දිනකට ගමන් වාර 64ක් සිදු කෙරේ. වාහන නියාමන බස් රථ සේවා හා දුම්රිය මැදිරි හා මෝටර් රථ කර්මාන්ත රාජ්‍ය අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය එක්ව පොදු ප්‍රවාහන සේවාව ක්‍රියාත්මක කරයි. ජාතික ගමනාගමන කොමිෂන් සභාව, ශ්‍රී ලංකා පොලීසිය, මාර්ග සංවර්ධන අධිකාරිය, නාගරික සංවර්ධන අධිකාරිය සහ කොළඹ මහ නගර සභාව යන ආයතනවල දායකත්වය ද ඊට හිමි වේ. ව්‍යාපෘතිය ක්‍රියාත්මක වන ආකාරය සහ බස් රථ කාල සටහන පිළිබඳව තොරතුරු දැන ගැනීමට ප්‍රවාහන අමාත්‍යාංශය හඳුන්වා දී ඇති විශේෂ ඛේතය (APP) පිළිබඳව ජනාධිපතිතුමා දැනුවත් කෙරිණ. නව සේවාව සඳහා යොදවා ඇති බස් රථයක ගමන් කළ ජනාධිපතිතුමා එහි පහසුකම් නිරීක්ෂණ කළේය..

ඒ අනුව නියමු ව්‍යාපෘතියක් ලෙස ගමන් මාර්ග දෙකක් යටතේ මා කුඹුර - කොළඹ දක්වා මෙම බස් රථ ධාවනය කරවීම අදහස් කරන හෙයින් එනම්....

ධාවන මාර්ගය 01

මා කුඹුර - කොට්ටාව - පන්නිපිටිය - තලවතුගොඩ - පැලවත්ත - බත්තරමුල්ල - රාජගිරිය - බොරැල්ල - මරදාන - පිටකොටුව - ගාමිණි හෝල් - පුරහල - නුගේගොඩ - කොට්ටාව - මා කුඹුර

ධාවන මාර්ගය 02

මා කුඹුර - මහරගම - නුගේගොඩ - නාවල - නාරාහේන්පිට - ටොරින්ටන් - පුරහල - කොම්පඤ්ඤ වීදිය - ගාලුමුවදොර - බම්බලපිටිය - තුම්මුල්ල - කිරුලපන - මාකුඹුර

ලෙසින් ප්‍රධාන මාර්ග සියල්ලම ආවරණය කරනු ලබයි.